ඔබේ නිවස, සේවා ස්‌ථානය ඉදිරිපිට දුගඳ හමන විශාල කසළ ගොඩක් ඇත්නම් එය අසහනකාරී අප්‍රියජනක අත්දැකීමක් ඔබට ලබා දෙනවා නිසැක ය. එය ඔබ තුළ මෙන්ම සියලු අසල්වැසියන් තුළ ඇති කරනුයේ පිළිකුලකි. නොකැමැත්තකි.
අපි උපන් දා සිට මැරෙන තෙක් ම අපද්‍රව්‍ය ජනනය සිදු කරන්නෙමු. මේ පුරුද්ද පාලනය කරන්නට හැකි නමුත් මුළුමනින් ම නවතා දැමිය නොහැකි එකකි. මෙරට දෛනිකව එක් පුද්ගලයෙක් ග්‍රෑම් 400-900 අතර ප්‍රමාණයක් අපද්‍රව්‍ය ජනනය කරයි. නාගරිකව ජීවත් වන්නකු ග්‍රෑම් 900කට ආසන්න ප්‍රමාණයක් අපද්‍රව්‍ය නිපදවද්දී අර්ධ නාගරිකව ජීවත් වන්නෙක් ග්‍රෑම් 700ක් පමණ අපද්‍රව්‍ය නිපදවයි. ගම්බදව සිටින්නන්ට පරිභෝජ්‍ය අවශ්‍යතා සීමිත අතර කසළ ඉවත ලෑම ද වඩාත් පහසු ය. ග්‍රාමීයව ජීවත් වන්නකු දිනකට නිපදවනුයේ ග්‍රෑම් 400කට ආසන්න අපද්‍රව්‍ය ප්‍රමාණයකි.
රට තුළ දැවෙන පාරිසරික ගැටලුවක් බවට වත්මනෙහි පත් ව තිබෙන්නා වූ කසළ ගැටලුව කොළඹ නගරයත්, බස්‌නාහිර පළාතත් ආශ්‍රිත ව උග්‍ර ය. බොහෝ බටහිර ජාතීන් ඉවත ලන එහෙත් ආර්ථිකමය වටිනාකමක් ඇති දැ ලෙසට කසළ අපද්‍රව්‍ය හැඳින්වුව ද දේශීයව එය ආර්ථිකමය වටිනාකමක් ඇති බවට නිර්චවනය කරනු නො ලබයි. කසළ ගැටලුවේ ආරම්භය එතැන ය.
බස්‌නාහිර පළාත් තුළ ඝන අපද්‍රව්‍ය ජනනය අධික වන්නේ ඇයි?
දෛනිකව මෙටි්‍රක් ටොන් 6500-7000 අතර ප්‍රමාණයක් කසළ රට තුළ නිsපදවේ. ඉන් සියයට පනහකට ආසන්න ප්‍රමාණයක් නගර සභා, ප්‍රාදේශීය සභා මගින් එකතු කරනු ලබයි. ඒ එකතු වන කසළ ප්‍රමාණයෙන් එනම් මෙටි්‍රක් ටොන් 3700ක් පමණ එකතු වන කසළ ප්‍රමාණයෙන් තවත් හරි අඩකට වැඩි ප්‍රමාණයකට දායක වන්නේ බස්‌නාහිර පළාත ය. එම අගය සංඛ්‍යාත්මකව මෙටි්‍රක් ටොන් 1900කට ආසන්න ය. එයින් ද සියයට හැටක් ම කොළඹ දිස්‌ත්‍රික්‌කය ආශ්‍රිතව ජනනය වූ අපද්‍රව්‍ය ය.අපද්‍රව්‍ය ජනනය වැඩි වන්නට මූලිකව බලපාන්නා වූ කාරණාවන් දෙකක් අද වන විට හඳුනාගෙන තිබේ. පළමුවැන්න ජනගහණය ශීස්‍රයෙන් ඉහළ යැමයි. ලංකාව් කුඩා ම පළාත ලෙස සැලකෙන බස්‌නාහිර පළාතෙහි භූමිය රටෙහි සමස්‌ත භූමි ප්‍රමාණයෙන් සියයට 5.7කි. සංඛ්‍යාත්මකව වර්ග කිලෝමීටර 3683කි. එහෙත් මිලියන 21කට ආසන්න ජනගහනයක් වෙසෙන ශ්‍රී ලංකාවේ, මිලියන 3.5 කට ආසන්න ප්‍රමාණයක් ම ජීවත් වන්නේ කොළඹ නගරයේ ය. වඩාත් නාගරීකරණය වී ඇති හෙයින් ජනතාවට තමාට ම වෙන් වූ ඉඩම් බොහෝ විට එහි නො පවතී. එබැවින් පොදු ස්‌ථානයකට කසළ එකතු කරනවා විනා නිවෙස්‌හි දී එකතු කර පිළියම් කිරීම ඔවුනට අපහසු ය.
අපද්‍රව්‍ය ජනනයට ආර්ථික වර්ධනය ඉහළ යැම ද බලපායි. කොළඹ ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළෙඳ නගරයයි. බොහෝ අය රටෙහි විවිධ ප්‍රදේශයන්හි සිට සේවා අවශ්‍යතා සඳහා දෛනිකව කොළඹ නගරයට පැමිණෙති. ඒ අය ජනනය කරන්නා වූ අපද්‍රව්‍යයන් රැඳෙන්නේ ද කොළඹ නගරයේ ය. බස්‌නාහිර පළාතේ පමණක් මේ වන විට කුණු කඳු 25-30 අතර ප්‍රමාණයක් නිර්මාණය වී තිබේ. ඒවා අද වන විටත් ප්‍රධාන පාරිසරික දූෂණයක් සිදු කරනු ලබයි.
අපද්‍රව්‍ය ජනනයට ආර්ථික වර්ධනය ඉහළ යැම ද බලපායි. කොළඹ ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළෙඳ නගරයයි. බොහෝ අය රටෙහි විවිධ ප්‍රදේශයන්හි සිට සේවා අවශ්‍යතා සඳහා දෛනිකව කොළඹ නගරයට පැමිණෙති. ඒ අය ජනනය කරන්නා වූ අපද්‍රව්‍යයන් රැඳෙන්නේ ද කොළඹ නගරයේ ය. බස්‌නාහිර පළාතේ පමණක් මේ වන විට කුණු කඳු 25-30 අතර ප්‍රමාණයක් නිර්මාණය වී තිබේ. ඒවා අද වන විටත් ප්‍රධාන පාරිසරික දූෂණයක් සිදු කරනු ලබයි.
ඉදිරි දශකය තුළ ආසියා පැසිපික් කලාපයේ ඉහළ ආර්ථික වර්ධනයක් අපේක්‌ෂා කරනු ලැබේ. මේ ආර්ථික වර්ධනයත් සමග අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල අපද්‍රව්‍ය ජනනය දෙගුණ විය හැකි බවට ද මත පළ වේ. එසේ නම් මේ වන විටත් උත්සන්න වෙමින් පවතින අප රටේ පවතින්නා වූ කසළ ගැටලුවට වහා විසඳුම් සෙවිය යුතු ය.
අපද්‍රව්‍ය නිසා සිදුවන්නා වූ පාරිසරික හානිය ...
අපද්‍රව්‍ය මගින් දූෂිත වූ පරිසරය අවලස්‌සන ය. එසේ ම ඒවායේ ජෛවවිවිධත්වය ද බොහෝ සෙයින් අඩු ය. බොහෝ ශාක හා සත්ත්ව ප්‍රජා දූෂිත පරිසරයෙහි පවතින්නට නොහැකි ව මිය යයි. පොලිsතීන්, ප්ලාස්‌ටික් ආදිය දීර්ඝකාලීනව ජලයෙහි තැන්පත් ව තිබී සාගර අපෘශ්ඨවංශිකයන්ට ද හානි පමුණුවයි. තල්මහ, කැස්‌බෑවන් ආදී සාගර ජීවීහු දහස් ගණනින් මෙවිට මිය යති.
පොලිතින් ප්ලාස්‌ටික් ආදිය විවෘත දහනය කළ විට ඩයොක්‌සින්, ෆියුරාන් ආදි පිළිකාකාරක වායූන් පරිසරයට මුදාහැරෙයි. මේවා කල්පවත්නා කාබනික දූෂකකාරක යටතට ගැනෙන පරිසර දූෂකයන් ය. ආඝ්‍රාණය කළ විට පමණක් නො ව සම හරහා ද ශරීරයට ඇතුළු වී පිළිකා ඇති කරන්නට මෙකී වායූන් ඉවහල් වෙයි. ස්‌නායු හා ශ්වසන ආබාධ කෙරෙහි ද මේවා බලපායි.
මතුපිට හා භූගත ජලය දූෂණය වීම තවත් ප්‍රධාන ගැටලුවකි. මතුපිට අපජලය කසළ මගින් දූෂණය වූ විට ඒවා පස හරහා භූගත ජලයට එකතු වේ. එමගිsන් පානයට නුසුදුසු තැනට භූගත ජලය පත් වෙයි.
කාබනික අපද්‍රව්‍ය මත බැක්‌ටීරියා ක්‍රියා කිරීමෙන් ඒවා ජීර්ණය කර මීතේන් වායුව නිපදවයි. ගෝලීය උෂ්ණත්ව ඉහළ යැමට මීතේන්හි බලපෑම කාබන්ඩයොක්‌සයිඩ්හි මෙන් 21 ගුණයකි.
එසේ ම බැක්‌ටීරියා ආදිය මගින් අපද්‍රව්‍ය වියෝජනය කරමින් ඔක්‌සිජන් උපරිමව පරිභෝජනය ද සිදු කරයි. එවිට ක්‍රමයෙන් නිර්වායුක තත්ත්වයක් නිර්මාණය වේ. මෙවිට සාමාන්‍ය උදාසීන pHය අගයන්හි දී ද්‍රdව්‍ය නො වන ලෝහ අයන ආදිය ආම්ලික මාධ්‍යය තුළ දිය වේ. ඒවා ජලය හා එක් වීම සිදු වේ. බැර ලෝහ ආදිය ජලයට එක් වූ විට ස්‌නායු ආබාධ ආදිය හටගනිමින් විටෙක මරණය දක්‌වා ම අමිහිරි ප්‍රතිඵල අත් කර දෙයි. ඒ පමණක් නො ව මේ වියෝජන ක්‍රියාවලියේ දී SO2, NO2 වැනි වායු දූෂකයන් ද අධිකව පරිසරයට මුදාහැරේ.
තව ද රසායනික අපද්‍රව්‍ය ආදිය ක්‍රමවත් ව බැහැර නො කළ විට (උදා ( විෂ සහිත හා ආසාදිත හෙපටයිට්‌ස් බී ආදී එන්නත් මගින්) කසළ එකතු කරන්නන් හට ද රෝග සම්ප්‍ර්ෂණය වන්නට පිළිවන.
කසළ අවිධිමත්ව බැහැර කිරීමේ ආදීනව දැක දැකත් අයකු ඒවා ආර්ථිකමය වශයෙන් ප්‍රයෝජ්‍ය ක්‍රමවේදයන්ට යෙදවීමට විරෝධය පානා ආවස්‌ථා ද එමට ය.
බ්ලූමෙන්ඩල් පෙදෙසෙහි විශාල කසළ කන්දක් ගොඩනැගී තිබූ අතර අද වන විට එහි කුණු දැමීම වාරණය කර තිබේ. මීතොටමුල්ල ප්‍රදේශයට කොළඹ මහනගර සභාවේ කසළ ටොන් 800කට ආසන්න ප්‍රමාණයක් දෛනිකව එකතු වේ. එය මේ වන විට අඩි ..... පමණ ඉහළ කුණු කන්දකි. එය එය ස්‌ථානයෙන් ඉවත් කරනවාට ඇතැමෙක් විරුද්ධ ය. කෙසේ
වෙතත් කරදියාන විවෘත කසළ බහාලන ස්‌ථානය ආශ්‍රිත ව කසළ දැමීම නිලධාරීන් යොදවා පාලනය කෙරෙන අතර අද වන විට එහි කොම්පෝස්‌ට් ව්‍යාපෘතියක් ද පවත්වාගෙන යන බවට තොරතුරු හමු වේ.
පරිසර මිතුරෝ, පිවිතුරු සුවපියස, පරිසර කැකුළු හා පිවිතුරු පාසල් ආදී ව්‍යාපෘතීන් හරහා ජනතාව විධිමත් අපද්‍රව්‍ය කළමනාකරණයට යොමු කරවීමේ ප්‍රයත්නයක් බස්‌නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාරණ අධිකාරිය හා අනෙකුත් පාරිසරික ආයතන මගින් සිදු කරනු ලබයි. ඊට සමගාමීව අපද්‍රව්‍ය විධිමත් ව බැහැරලීමේ සත් පියවර ආදී පාරිසරික ක්‍රමවේදයන් හඳුන්වා දෙනු ලැබ ඇත. (වෙන ම තැනක විස්‌තර කර ඇත).
ප්‍රතිචක්‍රීකරණය
උපද්‍රවකාරී නො වන රසායනික අපද්‍රව්‍ය ඒවායෙහි ගුණාත්මකභාවයට හානි නො වන අයුරින් ගබඩා කර ප්‍රතිචක්‍රීකරණය සඳහා යෙදවිය යුතු ය. ප්‍රතිචක්‍රීකරණයට පෙර අන්තරායකාරී වන රසායනික අපද්‍රව්‍ය ලෙසට ගැනෙන ප්ලාස්‌ටික් ආදිය ඉවත් කළ යුතු ය. ඉතිරි ප්ලාස්‌ටික් ඒවායෙහි වර්ණය, ප්‍රභේදය අනුව වෙන් කිරීමෙන් වැඩි වැඩියෙන් ආර්ථිකමය වාසි ලබාගන්නට පිළිවන. ප්‍රමාණයෙන් විශාල ප්ලාස්‌ටික් කුඩා කොටස්‌වලට කඩා අපිරිසිදු ප්ලාස්‌ටික් හෝ පොලිතින් සෝදා ඒ ප්‍රභේදය ප්‍රශස්‌ත උෂ්ණත්වයන්හි උණු වී මෙලෙක් වන්නට ඉඩ හැර කුඩා කොටස් (පෙලට්) සාදාගනු ලබයි.
ප්ලාස්‌ටික්, පොලිතින් ආදිය හැරුණු කොට ඉවත ලද රෙදි කැබැලි ද ප්‍රයෝජ්‍ය ලෙස යෙදවිය හැකි ය. කටුනායක අපනයන සැකසුම් කලාපය ආශ්‍රිතව ඉවත ලන කසළ ගොඩක තිබූ රෙදි කැබැලිවලින් කුඩා කුඩා ඇඳුම් මසා අද වන විට සුපිරි වෙළෙඳසලක හිමිකරුවකු වී සිටින අයකු පිළිබඳව අපට අසන්නට ලැබිණි. එනම් අපද්‍රව්‍ය යළි භාවිතය තුළින් ආර්ථිකමය වාසි ද ලබන්නට පුළුවන.
පොලිතීන් හා ප්ලාස්‌ටික් ප්‍රතිචක්‍රීකරණය
පොලිතීන්, වීදුරු, ප්ලාස්‌ටික් ආදිය ඉවත ලන විට දිරාපත් වන දැ සමග මිශ්‍ර වීමෙන් වැළැක්‌විය යුතු ය. එසේ ම ඒවා හැකිතාක් ප්‍රතිචක්‍රීකරණය කළ යුතු ය. පොලිතීන්, ප්ලාස්‌ටික් ආදිය පසට එක් වූ විට පස නිසරු කරයි. පොළොව තුළින් ජලය කාන්දු වන්නට ද මං පාදයි.
පොලිතීන්, ප්ලාස්‌ටික් මූලිකව කාබන් හා හයිඩ්‍රජන් අඩංගු වූ හයිෙඩ්‍රාකාබන බහුඅවයවීකරණයෙන් තැනුම් ලත් දැ ය. ඒවා නිපදවනුයේ බොරතෙල් නිෂ්පාදනයේ අතුරු ඵලයක් ලෙසින් ය. මූලික අණුවට සම්බන්ධ වන ක්‌ලෝරීන්, නයිට්‍රජන්, ෆ්ලෝරීන් වැනි පරමාණු අනුවත්, දාමවල පිහිටීම අනුවත් මේවායෙහි රසායනික ගුණ වෙනස් වේ. පොලිතීන් හා ප්ලාස්‌ටික් විවෘත දහනයේ දී සිදු වන්නා වූ අසම්පූර්ණ දහනය හේතුවෙන් කාබන් මොනොක්‌සයිඩ්, ෆියුරාන් හා ඩයොක්‌සීන් වැනි විෂ වායු පරිසරයට මුදාහැරේ. මේවා විටෙක ආහාර දාමයන් ඔස්‌සේ මිනිස් සිරුරෙහි තැන්පත් වීමෙන් පිළිකා, ප්‍රජනන සරුභාවය අඩු වීම ආදිය ඇති වෙයි.
ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය විධිමත්ව බැහැර කිරීම
ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය බොහොමයක රසදිය, ඊයම්, කැඩ්මියම්, ආසනික් ආදි බැරලෝහ අන්තර්ගත ය. මේවා අවිධිමත්ව බැහැර කළ විට බොහෝ විට ජලය සමග මිශ්‍ර වී ජල දූෂණය සිදු කරයි. එකී දූෂිත ජලය ආහාර දාම ඔස්‌සේ අපේ ශරීරයට ද ඇතුළු වී බලපෑම් කරයි. රසදිය වාෂ්පය හෝ රසදිය මිශ්‍රිත ජලය පානය කළ විට හෝ ආහාර දාම ඔස්‌සේ ශරීරයට එක් වූ විට මොළය ඇතුළු මධ්‍ය ස්‌නායු පද්ධතියටත්, වකුගඩුවලටත් දැඩිව හානි පමුණුවයි. සුළු මාත්‍රාවක් රසදිය ශරීරගත වීම මීට ප්‍රමාණවත් ය. දෘෂ්ටියේ හා ශ්‍රවණයේ යම් යම් ඌනතාවන් ද, අධික හිසරදය හා චර්යාත්මක වෙනස්‌වීම් ද රසදිය විෂ වීමෙන් ඇති විය හැකි ය. ගැබිනි මවුවරුන් ගේ වැදැමහ හරහා කලලය වෙත ගොස් මොළයට හානි පමුණුවා පූර්ණ අන්ධ, ගොළු හා මානසික ආබාධ සහිත දරුවන් බිහි කරන්නට ද රසදිය මගින් ඉඩ සලසයි.
ලෙඩ්, කැඩිමියම්, ආසනික් ආදිය ද ශරීරයට ඇතුළු වී යම් යම් වෙනස්‌කම් සිදු කරමින් කෙනකු මරණය කරා රැගෙන යන්නට පිළිවන. එය එසේ නම් ජංගම දුරකථන ආදියෙහි බැටරි, විදුලි බල්බ ආදිය සෙසු දිරාපත් වන අපද්‍රව්‍ය හා මිශ්‍ර නො වන සේ බහා ලීම සිදු කළ යුතු ය. වඩාත් පරිසර හිතකාමී ක්‍රමවේදයන්ට අනුව ඇතැම් සමාගම් කාර්යක්‌ෂම ආවරණ, පුනර්ජනනීය බලශක්‌තිය නිපදවෙන භාණ්‌ඩ තනයි. එහෙත් කලින් භාවිත කළ ඉලෙක්‌ට්‍රොනික භාණ්‌ඩවලින් සියයට අසූවක් ම පමණ අද භාවිත නො කෙරෙයි. 2011 වසර වන විට ඒවා එකතු වී ටොන් මිලියන 42ක පමණ ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය තොගයක්
එක්‌රැස් වී තිබුණු බව හඳුනාගෙන තිබේ.
මෙරට ඇතැම් සමාගම් සී. එෆ්. එල්. (CFL) බල්බ කල් ඉකුත් වූ විට යළි තම සමාගම් හරහා ඒවා ප්‍රතිචක්‍රීකරණය කරයිs. එහෙත් ශ්‍රී ලංකාවේ එවැනි මධ්‍යස්‌ථානයකට මෙකී අපද්‍රව්‍ය රැගෙන යැමේ කටයුතු සම්බන්ධීකරණය පවතින්නේ උදාසීන මට්‌ටමක ය. ක්‍රමවේදයන් තිබුණ ද ඒවා බලගන්වන්නට බලධාරීන් ද කැප විය යුතු ම ය.
ප්‍රතිචක්‍රීකරණය, යළි භාවිතය හැරුණු විට අපද්‍රව්‍ය සම්පතක් ලෙස භාවිත කිරීම කෙරෙහි ද ඝන අපද්‍රව්‍ය කළමනාකරණයේ සත් පියවරයන්හි දී විශේෂ අවධානයක් යොමු කර තිබේ. ඝන අපද්‍රව්‍ය සම්පතක් ලෙස භාවිත කරන්නට නම් පළමුව එහි රසායනික ස්‌වභාවය, සංයුතිය හඳුනාගත යුතු ය. 2015 වර්ෂය මුළුල්ලේ ම ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්‌ති අධිකාරියේ මෙහෙයවීම යටතේ මේ සම්බන්ධයෙන් පර්යේෂණයක් සිදු කරන ලදී.
කුණුවල සංයුතිය හඳුනා ගැනීම
සාමාන්‍යයෙන් කසළ සංයුතිය හඳුනාගැනීම යනු එහි ඇති කාබනික ද්‍රව්‍ය, ජල වාෂ්ප, අළු ප්‍රමාණය, වාෂ්පශීලී ද්‍රව්‍ය ආදිය ප්‍රාමාණිකව හඳුනාගැනීමයි. මේ පර්යේෂණයේ දී කොළඹ මහ නගර සභාව ආශ්‍රිතව දෛනිකව එකතු වන අපද්‍රව්‍යයෙහි සංයුතිය හඳුනාගෙන ඒවායෙහි බලශක්‌තිය ඉපැදවීමේ විභවයත්, ඊට අවශ්‍ය නිරවද්‍ය තාක්‌ෂණයත් තහවුරු කරගැනීම සිදු කරනු ලැබී ය.
පරිපාලන දිස්‌ත්‍රික්‌ක හයකින් මීතොටමුල්ල විවෘත කසළ බහාලන ස්‌ථානයට එන කසළ ප්‍රමාණය මැන (අහඹු ලෙන සාම්පල තෝරාගනිමින්) ඒවා ප්ලාස්‌ටික්, පොලිතින්, කාබනික ද්‍රව්‍ය, ශාකමය ද්‍රව්‍ය ආදී ලෙස වර්ග කරනු ලැබිණි.
මේ පර්යේෂණය අවසානයේ හඳුනාගෙන ඇත්තේ නිපදවන අපද්‍රව්‍යවල සියයට 52ක පමණ කාබනික ද්‍රව්‍ය අන්තර්ගත බවත්, සියයට 61කට ආසන්න ජල වාෂ්ප ප්‍රතිශතයක් පවතින බවත් ය. පහසුවෙන් දහනය වන දැ සියයට 37ක් පමණ අන්තර්ගත වන බව ද මෙහි දී සොයාගෙන තිබේ.
කාබනික අපද්‍රව්‍ය ජීව වායු නිෂ්පාදනය, කොම්පෝස්‌ට්‌කරණය, ජෛව මීතේන්කරණය ආදී ක්‍රියාවලීන්ට බඳුන් කළ හැකි ය. එහෙත් ජලවාෂ්ප ප්‍රතිශතය සාපේක්‌ෂව ඉහළ බැවින් පූර්ව ප්‍රතිකර්ම නො කොට තාපමය ක්‍රමවේදයන් ගෙන් තාප ශක්‌තිය උපදවාගන්නට බැරි ය. එබැවින් ජෛවීය හා තාපමය ක්‍රියාවලීන් දෙක ම හරහා බලශක්‌තිය ඉපැදවීම කෙරෙහි විද්වත් අවධානය යොමු ව තිබේ.
තාපමය ක්‍රමවේදයන් උපයෝගි කරගනිමින් විදුලිය නිපදවන්නට යැමේ දී බොහෝ රටවල භාවිත කරන්නා වූ පාලිත තත්ත්ව යටතේ සෘජු දහනය (Incineration) නම් වූ ක්‍රියාවලිය එකවර ම අපද්‍රව්‍ය දහනයට යොදාගත නොහැකි ය. පළමුව දාහමය හැකියාව ඉහළ සියයට 37ක් පමණ වන ප්‍රතිශතය වෙන් කර පූර්ව ප්‍රතිකර්ම කළ යුතු ය. ඒ ජල වාෂ්ප ප්‍රතිශතය දහනයට සුදුසු ප්‍රශස්‌ත මට්‌ටමකට ගෙන එන්නට ය. එනම් සියයට 61 සිට 40-50 අතර අගයකට ගෙන එන්නට ය. අනතුරුව භෂ්මීකරණය නම් වූ ක්‍රමවේදය හරහා කසළ දහනය කර තාපය නිපදවා ඉන් නිපදවෙන හුමාලයෙන් ටර්බයින් කරකවා විද්යුතය උත්පාදනය කරගනු ලබයි.
මෙහි දී ශ්‍රී ලංකාවට වඩාත් යෝග්‍ය යෑයි විද්වතුන් අනුමාන කරන්නා වූ Air Fed RDF Gasification නම් වූ ක්‍රියාවලිය හා තාපය විද්යුතය බවට පරිවර්තනය කරන්නා වූ කාර්යක්‌ෂමතාව ඉහළ ය. සල්µර් ඩයොක්‌සයිඩ්, නයිට්‍රජන් ඩයොක්‌සයිඩ් ආදී අහිතකර වායූන්හි විමෝචනය ද සාපේක්‌ෂව පහළ ය. සාපේක්‌ෂව ඉහළ ධාරිතාවක් විද්යුතය මේ ක්‍රමවේදහ හරහා ජනනය කරන්නට ද හැකි වන අතර ඒ සඳහා ඒකකයකට සිදු වන වැය අඩු ය.
මේ ක්‍රමවේදයේ දී කසළ සම්පිණ්‌ඩනය කර (pellate) වානේ සදා භෂ්මීකරණය සිදු කරනු ලබයි. එහි දී CO විශාල ලෙස අන්තර්ගත Syn gas නම් වූ වායුව නිපදවනු ලබයි. මෙහි CH4 ද අධික වන අතර අර්ධ දහනය සිදු වන හෙයින් CH4නිපදවනුයේ අඩුවෙන් ය. මේ Syn gas තාපය වෙන් කරගන්නා බොයිලේරුවක දී හුමාලය බවට පත් කර විදුලිය නිපදවයි.
ජල වාෂ්ප ඉවත් කරන පූර්ව ප්‍රතිකර්ම ක්‍රමයෙහි දී අමතර ශක්‌තියක් වැය කරන්නට සිදු වීම තාපමය ක්‍රමවේදයන්හි යෙදවීම තරමක් දුරට අඩු කරයි. කෙසේ නමුත් අද වන විට තාපමය හෝ ජෛවීය විද්‍යාත්මක ක්‍රමවේදයන්හි වත් විශාල යෙදවීමක් අපද්‍රව්‍යයෙන් බලශක්‌තිය ඉපදවීමෙහි ලා දක්‌නට ලැබෙන්නේ නැත. චීනය, ඉන්දියාව, ජපානය වැනි බොහෝ ආසියාතික රටවල් අද වන විට අපද්‍රව්‍යයෙන් බලශක්‌තිය නිපදවීමේ ක්‍රමවේද සාර්ථකව අත්හදා බලමින් සිටී. ප්‍රජා සහයෝගය බොහෝ සෙයින් අඩු වීමත් රජය මගින් දක්‌වන්නා වූ ආර්ථිකමය අනුග්‍රහය මඳකමත් නිසා අප තවමත් ඉබි ගමනින් ය.
අද වන විට රටෙහි සැබෑ ම තත්ත්වය විග්‍රහ කරන්නේ නම් කොම්පෝස්‌ට්‌කරණය අද වන විට යම් ප්‍රමාණයකට සිදු වන අතර ජෛවීය වායූ තවමත් රට තුළ අසාර්ථක ය. තාපමය ක්‍රමවේදයන්ට විදුලිය නිපදවීම ආදියත් තවමත් පුළුල්ව ව්‍යාප්ත ව නොමැත. තවමත් අප සිටින්නේ නිරවද්‍ය තාපමය ක්‍රමවේදය නැත හොත් වඩාත් යෝග්‍ය තාපයෙන් විදුලිය ඉපැදවීමේ ක්‍රියාවලිය හඳුනාගනිමිනි.
කොම්පෝස්‌ට්‌කරණය
කොම්පෝස්‌ට්‌කරණයටත්, ජීව වායු නිපදවීමටත් පෙර කාබනික අපද්‍රව්‍ය වෙන් කරගැනීම සිදු කළ යුතු වේ. ප්‍රජා දායකත්වය මෙහි දී වඩාත් වැදගත් වනුයේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණයෙහි මුල් ම පියවර වන අපද්‍රව්‍ය විධිමත්ව කළමනාකරණයෙහි දී අපද්‍රව්‍ය වෙන් කිරීම නිසි ආකාරව සිදු නො වුණ හොත් සම්පූර්ණ ක්‍රියාවලිය ම ඇනහිටින නිසාවෙනි.
දිරාපත් වන ශාක හා සත්ත්ව කොටස් ක්‌ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය මගින් කුඩා කොටස් බවට නැත හොත් හියුමික් බවට පත් කිරීම කොම්පෝස්‌ට්‌කරණයයි. ජෛවීය කොටු ක්‍රමය, වළ ක්‍රමය හා කොම්පෝස්‌ට් බැරල් භාවිතයෙන් කොම්පෝස්‌ට් නිපදවීම මෙහි දී සිදු කරනු ලබයි.
වළ ක්‍රමයට කොම්පෝස්‌ට් නිපදවීමේ දී පළල හා ගැඹුර අඩි 9 බැගින් වන වළක් කපා අගල් හයක් පමණ උසට කාබනික අපද්‍රව්‍ය වළලනු ලබයි. තවත් අගල් හතරක් පමණ උසට ලී කුඩු වැනි අමුද්‍රව්‍ය එක් කර සති දෙකකට වරක් කසළ පෙරළනු ලබයි. අස්‌වැන්න මාස 2කින් පමණ ලබන්නට හැකි ය. මේ සියලු ක්‍රමවේදයන් හරහා වඩාත් පහසුවෙන් නිවෙස් මට්‌ටමින් කොම්පෝස්‌ට් නිපදවාගන්නට හැකි ය.
කඩුවෙල මහනගර සභාව හා කරදියාන කසළ බහාලුම් ස්‌ථාන ආශ්‍රිතව දැනටමත් මහා පරිමාණ කොම්පෝස්‌ට් ව්‍යාපෘතීන් ආරම්භ කර ඇත. මෙවන් ස්‌ථානයන්ට කසළ දමන විට කසළ තෝරා වෙන් කර දමන්නට ප්‍රජාව කටයුතු කළ යුතු වන අතර ඖෂධ ආදී අන් කිසිවක් කාබනික අපද්‍රව්‍ය සමග මිශ්‍ර වීම වැළැක්‌විය යුතු ය.
අද වන විට රට පුරා කොම්පෝස්‌ට් නිෂ්පාදනය කරනුයේ එකතු කරගනු ලබන සමස්‌ත මෙටි්‍රක් ටොන් 3500ක කසළ ප්‍රමාණයෙන් ටොන් 250-300ක් අතර ප්‍රමාණයකින් පමණි. එසේ ම කොම්පෝස්aට් සඳහා ප්‍රශස්‌ත ජල වාෂ්ප ප්‍රතිශතය සියයට 40- 50 අතර වන හෙයින් අවශ්‍ය වූ විට ජලය යෙදීමත් ඉවත් කිරීමත් සිදු කරනු ලබයි. තාපමය ක්‍රියාවලීන්හි දී මෙන් විශාල අමතර ශක්‌තියක් ජලය ඉවත් කිරීම සඳහා මෙහිදී අවශ්‍ය නො වේ. මහා පරිමාණයෙන් කොම්පෝස්‌ට්‌කරණය සිදු කරන්නට විදේශයන් aගෙන් තාක්‌ෂණය ලබාගන්නට සිදු ව තිබේ. මෙහි ලා රජය සෘජු ව ම මැදහත් වීම වැදගත් ය.
ජෛවීය වායු නිෂ්පාදනය
නිවාස, රෝහල්, රැකියා ස්‌ථාන ආශ්‍රිත ව නිපදවෙන ඉඳුල්, එළවළු, පලතුරු, කොළරොඩු ආදී තෙත් අපද්‍රව්‍ය මගින් පුනර්ජනනීය බලශක්‌ති ප්‍රභවයන් වන ජීව වායු නිපදවනු ලබයි. මෙය නිර්වායු තත්ත්ව යටතේ සිදු වන්නකි. විදුලි පහන් දැල්වීම, ආහාර පිසීම, විදුලි උත්පාදන යන්ත්‍රයන්හි ඉන්ධන ලෙසින් භාවිතය ආදී බොහෝ දැ ජීව වායු මගින් සිදු කරගන්නට හැකි ය. ජෛවීය වායු නිෂ්පාදනය අද වන විට ශ්‍රී ලංකාව තුළ වඩාත් සාර්ථකව භාවිත කරනු දක්‌නට ලැබෙන්නේ නැත.
කසළ කළමනාකරණය විධිමත්ව පවත්වාගෙන යැමේ දුෂ්කරතා
සාමාන්‍යයෙන් යමක් අපද්‍රව්‍ය බවට පත් වන්නේ එහි ක්‍රියාකාරීත්වය අඩපණ වූ විට හෝ යල්පැනීම නිසා හෝ යම් යම් ද්‍රව්‍යයන්හි ආයු කාලය අවසන් වීම යන කාරණා හේතුවෙන් ය. සරලව කිව හොත් මේවා අපද්‍රව්‍ය ලෙසට ඉවත ලන්නේ මිනිසා ගේ අභිමතයට ය. එහෙත් ඇතැම් අය විශාල කසළ ගොඩක් කොම්පෝස්‌ට්‌කරණය, ශක්‌තිය උත්පාදනය හා ප්‍රතිචක්‍රීකරණය ආදී විධිමත් ක්‍රමවේදයන්ට කළමනාකරණය කරනවාට විරුද්ධ ය. විටෙක ඔවුහු කසළ ප්‍රවාහනය කරන්නා වූ ලොරි මගින් හා නො දිරන ප්ලාස්‌ටික්, පොලිතීන් ආදිය විකිණීමෙන් ආදායම් ලබති. එහෙත් අනාගතයේ ඔවුනට ඉන් අත් විය හැකි ලෙඩ රෝග, ආසාත්මිකතා ආදිය ගැන කිසිදු තැකීමක් නො කරන බව පෙනෙන්නට තිබේ. මෙහි දී යම් යම් දේශපාලන මැදිහත් වීම් ද ඇති බවට ඇතැමෙක් චෝදනා කරති.
රාජ්‍ය අනුග්‍රහය නොමැති ව මහා පරිමාණ ව්‍යපෘතීන්හි යෙදෙන්නට තරම් ඉහළ ආර්ථිකමය තත්ත්වයක් රටෙහි ජනතාවට නොමැත. එබැවින් බොහෝ ව්‍යාපෘති ආර්ථිකමය හැකියාව මඳකම නිසා අත්හැර දමන්නට සිදු ව තිබේ. ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්‌ති අධිකාරිය වෙත මේ වන විට අපද්‍රව්‍යයෙන් විදුලිය ඉපදවීමේ ව්‍යාපාතීන් 40කට ආසන්න ප්‍රමාණයක් පිළිබඳ තොරතුරු ලැබී ඇති මුත් ඒවායෙහි නිවැරැදි තාක්‌ෂණය නො තිබීම හා එක ම ස්‌ථානයක් කේන්ද්‍ර කරගනිමින් ව්‍යාපෘති යෝජනා වීම ආදිය නිසා ඉන් 30ක් පමණ අත්හැර දමන්නට සිදු වී තිබෙන බව එම ආයතනයේ ඉංජිනේරු ඡේ. ඒ. ටී. දිල්හානි මහත්මිය විදුසර හා අදහස් දක්‌වමින් පැවසුවා ය. අද වන විට බලශක්‌ති අනුමැතිය හිමි ව තිබෙන්නේ කඩුවෙල හා මීතොටමුල්ල මහනගර කේන්ද්‍ර කරගත් ව්‍යාපෘතීන් දෙකකට පමණි.
සාමාන්‍යයෙන් කසළ දෛනිකව නිවෙස් හා අනෙකුත් ස්‌ථානයන් ගෙන් ප්‍රදේශයේ එක් කසළ බහාලන ස්‌ථානයකට ප්‍රවාහනය කර එතැනින් ප්‍රදාන කසළ බහාලුම් ස්‌ථානයට
රැගෙන යයි. මෙහි දී දෙවරක් ප්‍රවාහනය (Doubles handlling) කරන්නට සිදු වීම නිසා වැඩි කම්කරුවන් පිරිසක් සේවයේ යොදවන්නට ද වේ. එවිට ආර්ථිකමය වැය වැඩි වන බව බස්‌නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්‌ෂ නලීන් මාන්නප්පෙරුම මහතා පෙන්වා දෙයි.
කසළ ගැටලුව ගැන පුද්ගලයන් ගේ දැනුවත්භාවය මඳකමක් ද පවතින අතර ප්‍රජා දායක්‌තවය අවම වීම මෙයට දැඩිව ම බලපාන බව සඳහන් කළ යුතු ය. මධ්‍යම පරිසර අධිකාරියේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ අධ්‍යක්‌ෂ අජිත් වීරසුන්දර මහතා පවසන්නේ රජයට ම වගකීම නො පවරා පුද්ගලයන්, සාමාන්‍ය ජනතාව මෙයට සෘජු ව ම දායක විය යුතු බවයි.
අපද්‍රව්‍ය විවෘතව බහාලීම වෙනුවට ඒවායෙහි දුර්ගන්ධය හා ජලය සමග මිශ්‍ර වීම නවතා ලන්නට අපද්‍රව්‍ය පස්‌වලින් ආවරණය කර දමන්නා වූ Lanfilling නැත හොත් බිම් පිරවීම නම් වූ තාක්‌ෂණය භාවිත කරනු ලබයි. අද වන විට එය ශ්‍රී ලංකාවේ සිදු කරන්නේ දොම්පේ ප්‍රාද්ශීය සභාව තුළ පමණි. ඒ කොරියානු ආධාර මත ය. මීට පෙර වෙනත් ප්‍රදේශ කිහිපයකත් මෙය සිදු කර තිබෙන මුත් ජනතා විරෝධතාවත්, ආර්ථිකමය ගැටලු පැන නැගීමත් මත අතහැර දමන්නට සිදු විය.
කැලිකසළ විධිමත්ව බැහැර නො කරන්නන්ට එරෙහි ව රටෙහි ක්‍රියාත්මක නීතිය
රට තුළ නීතිය හරි ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේ නම් බොහෝ පාරිසරික ගැටලු අවම කරගන්නට හැකි ය.
බස්‌නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ ප්‍රඥප්තියෙහි 2007 අංක 01 සංශෝධනයත් සමග ස්‌ථානීය දඩ, සේවා ගාස්‌තු අය කරගැනීම මා දූෂකයා විසින් ගෙවනු ලැබීම වැනි කරුණු සඳහා අවධානයක් යොමු කෙරිණි. 2008 අංක 01 ප්‍රඥප්තියෙන් අපද්‍රව්‍ය මිශ්‍ර කිරීම, අපද්‍රව්‍ය තැන තැන දැමීම, අපද්‍රව්‍ය විවෘත දහනය කිරීම හා ප්‍රජාවට කරදරයක් වන ලෙස අපද්‍රව්‍ය දැමීම දඩුවම් ලැබිය හැකි වැරැදි බව පෙන්වා දෙන ලදී. මෙහි ලා ස්‌ථානීය දඩ ලෙස රුපියල් 500-5000 ප්‍රමාණයක් ද, උසාවි දඩ ලෙස රුපියල් 5000-50,000 අතර දඩයක් හෝ තුන් මසකට නොඅඩු වසරකට නොවැඩි සිර දඩුවම් ද නියම කරන්නට පිළිවන.
අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියෙහි රීතිවලට යටත් නො වී මිශ්‍ර නාගරික ඝන අපද්‍රව්‍ය එකතු කරන්නන්ට පරිමා පාදක සේවා ගාස්‌තු ක්‍රමවේදය හරහා මිශ්‍ර අපද්‍රව්‍ය ප්‍රමාණයට ම සරිලන මුදලක් ගෙවන්නට සිදු වේ. දිරන නො දිරන අපද්‍රව්‍ය වෙන් වෙන් ව වෙන් කරන්නේ නම් මේ මුදල ගෙවිය යුතු වන්නේ නැත.
කසළ බැහැර ලීමට අදාළ නීති ගැන කතා කිරීමේ දී, මොරටුව විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය අජිත් ද අල්විස් මහතා පසුගිය දා පැවැති වැඩමුළුවක දී කළ සඳහනක් සිහිපත් වේ. ලංකාවේ අයකු සිංගප්පූරුවට ගිය විට පරිසර දූෂණය කෙරෙහි දක්‌වන අවධානය වැඩි ය. ඒ පාරට කසළ දැමූ විට සිංගප්පූරු නීතියට අනුව I polluted the land ක්‌බා යනුවෙන් ලේබලයක් එල්ලාගන පාර අතු ගෑ යුතු බැවිනි. එහෙත් ඒ පුද්ගලයා ම ශ්‍රී ලංකාවේ දී හැසිරෙන්නා වූ ආකාරය හාත්පසින් වෙනස් ය. මෙයින් ගම්‍ය වන්නේ නීතිය නිසි අයුරින් ක්‍රියාත්මක වීමේ වැදගත්කමයි.
ඔබ සිටිය යුත්තේ දූෂිත, අපවිත්‍ර වටපිටාවක ද නැතිනම් ඔබටත් අන් අයටත් ප්‍රිය උපදවන පිවිතුරු වටපිටාවක ද? තීරණය කළ යුත්තේ ඔබයි. ඉදිරි වසර පහ තුළ රට යා යුත්තේ කොතැනට ද? රට කෙතරම් අලංකාර ද, රටෙහි මිනිසුන් කෙතරම් නීරෝගී ද? මේ සියල්ල තීරණය වන්නේ ඔබේ ක්‍රියාකලාපය මත ය.
ඝන අපද්‍රව්‍ය කළමනාකරණයේ සත් පියවර
1. ජනනය වන ස්‌ථානයේ දී ම කසළ විධිමත්ව කළමනාකරණය කිරීම.
ගෘහාශ්‍රිත, කාර්මික, වෙළෙඳපොළ හා සේවා ස්‌ථානයන්හි අවම වශයෙන් දිරන, නො දිරන ලෙස අපද්‍රව්‍ය වෙන් කිරීම, ජනනය අවම කිරීම, ප්‍රතිචක්‍රීකරණය කිරීම, හා නැවත භාවිත කිරීම, මාර්ගවලට හා පොදු ස්‌ථානවලට කසළ දැමීම තහනම් කිරීම, විවෘත කසළ දහනය තහනම් කිරීම යනාදිය මෙහි දී බල ගැන්වෙයි. මෙහි සමස්‌ත වගකීම දැරිය යුත්තේ ප්‍රජාව ය.
2. නිසි ක්‍රමවේදයන් ඔස්‌සේ කසළ ජනනය වන ස්‌ථානවල දී ම ලබාගැනීම.
පළාත් පාලන ආයතනයකට හෝ එම ආයතනය වෙනුවෙන් බලය ලත් ව්‍යාපාරිකයකුට හෝ පුද්ගලයකුට හෝ තමන් එම කටයුත්ත සඳහා සුදුසු බවට බස්‌නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය මගින් සහතික කළ පෞද්ගලික අංශයකට වගකීම් පැවරෙන මෙහි දී වෙන් කරන ලද අපද්‍රව්‍ය නිසි ක්‍රමවේදයක් යටතේ එකතු කිරීම හෝ ලබාගැනීම හෝ සැලකේ.
3. මාර්ග හා පොදු ස්‌ථාන පිරිසිදු කිරීම.
ප්‍රධාන හා අවශේෂ මාර්ග හා පොදු ස්‌ථාන නියමිත කාලසටහනකට අනුව අතුගෑම, දෙපස කාණු පිරිසිදු කිරීම, කානු අවහිර වන කසළ ඉවත් කිරීම හා අලංකාර කිරීමෙහි ලා ඒ ඒ පළාත් පාලන ආයතනයට පැවරෙන වගකීම මෙහි දී බලගැන්වෙයි.
4. විවෘත කසළ රඳවන භාවිතයෙන් ඉවත් කිරීම.
පළාත් පාලන ආයතන මගින් පොදු හා තාවකාලික කසළ රඳවන භාවිතයේ දී ඒවා විවෘත ව පවත්වාගෙන යැම වැළැක්‌වීම දිරිගන්වයි. සංවෘත කසළ රඳවන භාවිතයේ දී ඒවා එම ප්‍රදේශයේ ජනගහන ඝනත්වය සැලකිල්ලට ගනිමින් ස්‌ථාපනය කළ යුතු ය.
5. කසළ ප්‍රවාහනය විධිමත් කිරීම.
විවෘත කසළ ප්‍රවාහනය වාරණය කරමින්, කසළ ප්‍රවාහනය කරනු ලබන වාහන ඵලදායීව යොදාගනිමින් මහජන සෞඛ්‍යයටත්, පරිසරයටත් සිදු වන හානි අවම කරමින් කසළ ප්‍රවාහනය සිදු කළ යුතු ය. මෙහි වගකීම පළාත් පාලන ආයතනයන්ට පවරනු ලැබේ.
6. කසළ සම්පතක් ලෙස භාවිත කිරීම.
මධ්‍ය රජයේත්, පළාත් සභාවේත් මගපෙන්වීම යටතේ ජනනය වූ අපද්‍රව්‍ය නැවත භාවිතය, ප්‍රතිචක්‍රීකරණය සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන දිරිගැන්වීම මෙහි දී සිදු කරනු ලබයි. කාබනික අපද්‍රව්‍ය කොම්පෝස්‌ට්‌කරණය, ජීව වායු නිශ්පාදනය හා ඉහළ තාප ශක්‌තියක් සහිත අපද්‍රව්‍යයෙන් විදුලිය නිපදවීම, ප්ලාස්‌ටික්, පොලිතින් හා වීදුරු වැනි ප්‍රතිචක්‍රීකරණය කළ හැකි දැ ප්‍රතිචක්‍රීකරණය හා සම්බන්ධ ආයතනයන් ද වඩා වඩාත් දිරිගන්වනු ලබයි.
7. අවසාන බැහැර ලීම විධිමත් කිරීම.
ඉංජිනේරු බිම් පිරවීම්, සනීපාරක්‌ෂක බිම් පිරවීම් මගින් වඩාත් පරිසර හිතකාමී ක්‍රමවේදයන්ට අනුව කසළ අවසාන බැහැරලීම සිදු කිරීම සඳහා මධ්‍යම රජයත් පළාත් සභාවත් කටයුතු කළ යුත්තේ ය. අවසාන බැහැරලීම විධිමත් කිරීම යනු එයයි.
ඝන අපද්‍රව්‍ය කළමනාකරණයේ සත් පියවර එළිදක්‌වනු ලැබූයේ බස්‌නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය මගිනි. ඒ 2007 වර්ෂයේ දී ය.
ඝන අපද්‍රව්‍ය කළමනාකරණයේ සත් පියවරෙහි මුල්ම පියවරෙහි දී විමසුමට ලක් කෙරෙන අපද්‍රව්‍ය අවම කිරීම, අපද්‍රව්‍ය යළි භාවිතය හා ප්‍රතිචක්‍රීකරණය යන 3R සංකල්පය ප්‍රතිපත්තියක් ලෙස 2007 වසරේ දී පරිසර අමාත්‍යංශය මගින් හඳුන්වා දෙනු ලැබී ය.
විශේෂ ස්‌තූතිය :
අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්‌ෂ නලීන් මාන්නප්පෙරුම මහතාට, මොරටුව විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය අජිත් ද අල්විස් මහතාට, මධ්‍යම පරිසර අධිකාරියේ අජිත් වීරසුන්දර මහතාට, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්‌ති අධිකාරියේ..............




0 Reviews