බහුකාර්ය සහ දිගුකාලීන මහවැලි සංවර්ධන වැඩසටහන ශ්‍රී ලංකාවේ විශාලතම සංවර්ධන යෝජනාක්‍රමයයි. ව්‍යාපෘතියේ වැඩකටයුතු සඳහා බ්‍රිතාන්‍යය, ජර්මනිය, කැනඩාව, ස්වීඩනය වැනි රටවල් වලින් ආධාර හිමිවිය.
මහවැලි ගඟ සංවර්ධනය
1912 ව්‍යවස්ථා සභාවේ පළමු දෙමළ නියෝජිත කේ. කනකසභාපති මහතා, මහවැලි ජලය වන්නි දිස්ත්‍රික්කයට ගෙන යාම ගැන පළමුවෙන්ම අවධානය යොමු කල පුද්ගලයා වෙයි. පසුව ඩී.එස්. සේනානායක, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක යන මහත්වරු සහ තවත් අය මහවැලි ගඟ ආශ්‍රිත සංවර්ධන ව්‍යාපාර ගැන අවධානය යොමු කළහ.
මහවැලි ගඟ උතුරට හැරවීම ගැන පුළුල් සමීක්ෂණ ඇරඹුනේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් 1950 ගණන් වල සිටයි.[1] දිවයිනේ ජල සම්පත් සමීක්ෂණය වෙනුවෙන් කොළඹ ක්‍රමය යටතේ පසුව කැනඩා රජයේ ආධාර හිමිවිය. 1958 දී ශ්‍රී ලංකා රජය, ඇමෙරිකා එක්සත් ජනපදය සමග ඇතිකරගත් ගිවිසුමක් අනූව, මහවැලි බහු කාර්ය ව්‍යාපාරයක් සඳහා සමීක්ෂණයක් ඇරඹුණි. 1965 එක්සත් ජාතීන්ගේ සංවර්ධන සැලැස්ම (UNDP), ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) කල සමීක්ෂණ මත 1969 දී මහවැලි මහ සැලැස්ම (MASTER PLAN) බිහි විය.
සංවර්ධන වැඩසටහනේ අරමුණු
නව ජනාවාස ඇතිකිරීම
විදුලිබලය උත්පාදනය
වී ගොවිතැන ප්‍රමුඛ කෘෂීකර්මය
ගංවතුර පාලනය
මහවැලි ගඟත්, එහි අතු ගංඟාත් මාදුරුඔයත් ආශ්‍රය කොටගෙන දේශීය භූමි ප්‍රමාණයෙන් 39% ක් පමණ වූ ප්‍රමාණය සංවර්ධනය කිරීමත්, රටට අවශ්‍ය විදුලි බලය නිපදවා ගැනීමටත්, ඇතැම් ප්‍රදේශ වල ගංවතුර පාලනය කිරීමටත්, නව ගොවි බිම් ඇතිකිරීමටත්, නව ජනාවාස බිහිකිරීමත්, එමගින් නව රැකියා අවස්ථා ලබා දීමත්, මහවැලි මහ සැලැස්මෙන් අපේක්ෂා කෙරිණි. කෘෂිකර්මාන්තය නවීනරණය වීම, සත්ව පාලනය, කෘෂිකර්මය පාදක කරගත් කර්මාන්ත සංවර්ධනය කිරීම අනෙකුත් අපේක්ෂිත අරමුණු විය.
ක්‍රියාවට නැංවීම
වසර 30 ක් ඇතුළත මහවැලි මහ සැලැස්ම ක්‍රියාවට නැංවීම මුල් යුගයේ අපේක්ෂාව විය. අදියර 3 ක් යටතේ ප්‍රධාන ජලාශ විදුලි බලාගාර හා ජනාවාස කලාප සංවර්ධනය සඳහා සැලැස්මක් වූ අතර වාරිපෝෂිත ඉඩම් අක්කර 9,000,000 ක් සංවර්ධනය කිරීමද, මෙගාවොට් 808 ක ස්ථාපිත ධාරිතාවකින් යුතු විදුලි බලාගාර 14 ක් ඉදිකිරීමද වැඩ පිළිවෙලට අයත් විය.
වැඩසටහන ආරම්භ කිරීම
1970 පෙබරවාරි 28 වන දින ඩඩ්ලි සේනානායක මහතා පොල්ගොල්ල ජලාශ ව්‍යාපාරයට මුල්ගල තබමින් මහවැලි මහ සැලැස්ම ක්‍රියාත්මක කෙරීය.
ව්‍යපෘතිය පිරිහීම
1977 වන විට මහවැලි ව්‍යාපාරයේ ප්‍රගතිය අපේක්ෂා කල තරම් නොවීය. එවකට රටේ පැවැති දුර්වල ආර්ථික තත්වය හා අවශ්‍ය තරම් පුහුණු ඉංජිනේරු සහ තාක්ෂණික ක්ෂේත්‍ර වල නිලධාරීන් හිඟ වීම ඊට හේතු විය.
කඩිනම් වැඩ පිළිවෙල
මහවැලි මහ සැලැස්ම යෝජනා කොට තිබුණේ වසර 30 කදී අනුක්‍රමයෙන් නිම කිරීමටයි. නමුත් ඒ සමය වන විට රටෙහි ආර්ථිකයේ දැවෙන ප්‍රශ්න රාශියක් තිබූ නිසා මහවැලි ව්‍යාපාරයේ කටයුතු කෙටි කලකින් නිම කිරීමට අත්‍යාවශ්‍ය විය. ඒ අනූව 1977 ඔක්තෝම්බර් 12 වනදා මහවැලි සංවර්ධන මණ්ඩලයට රැස්වූ එවක අගමැති ජේ. ආර්. ජයවර්ධන මහතා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මහවැලි සංවර්ධන ව්‍යාපාරය කඩිනම් කිරීමට තීරණය කරන ලදී.
පසුව එම වසරේම ජනපති ධූරයට පත්වූ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ විධායක නායකත්වයෙන්, අගමැති රණසිංහ ප්‍රේමදාස මහතාගේ මගපෙන්වීම යටතේ මහවැලි කඩිනම් වැඩ පිළිවෙල ක්‍රියාත්මක කෙරුණි. මහවැලි කඩිනම් වැඩ පිළිවෙලේ වගකීම, ඉඩම් සංවර්ධන හා මහවැලි සංවර්ධන අමාත්‍ය ගාමිණී දිසානායක මහතාට භාර විය.
කඩිනම් වැඩ පිළිවෙල යටතේ බලශක්ති සම්පාදනයට අනුබල දෙන ප්‍රධාන ජලාශ 4 ක් නිමවිණි. වික්ටෝරියා ජලාශය, කොත්මලේ ජලාශය, මාදුරුඔය ජලාශය, හා රන්දෙණිගල ජලාශය එලෙස ඉදිවූ මහා ජලාශ හතරයි.
වැඩසටහන යටතේ ඉදිකල ජලාශ
පොල්ගොල්ල ජලාශය
වැඩ ඇරඹීම - 1970 පෙබරවාරි 28 දිනවිවෘත කිරීම - 1976 ජනවාරි 8 දිනවික්ටෝරියා ජලාශය (කඩිනම් වැඩ පිළිවෙල යටතේ ඉදිවූ මුල්ම ජලාශය, බ්‍රිතාන්‍ය රජයේ ආධාරයෙන් ඉදිවූවකි)
වික්ටෝරියා ජලාශය
වැඩ ඇරඹීම - 1978විවෘත කිරීම - 1985 අප්‍රියෙල් 12 (විවෘත කිරීමේ අවස්තාවට එවක බ්‍රිතාන්‍ය අගමැතිනිය මාග්‍රට් තැචර් මැතිණිය සහභාගී වූවාය)
මාදුරුඔය ජලාශය (කඩිනම් වැඩ පිළිවෙල යටතේ ඉදිවූ ජලාශය. කැනඩා රජයේ ආධාරයෙන් ඉදිවූවකි)
වැඩ ඇරඹීම -විවෘත කිරීම - 1983 ජූලි 2 දිනකොත්මලේ ජලාශය (කඩිනම් වැඩ පිළිවෙල යටතේ ඉදිවූ ජලාශය)
කොත්මලේ ජලාශය
වැඩ ඇරඹීම - 1979 පෙබරවාරි 4 දිනවිවෘත කිරීම - 1985 අගෝස්තු 24
රන්දෙණිගල ජලාශය[2](කඩිනම් වැඩ පිළිවෙල යටතේ ඉදිවූ අවසන් ජලාශය.බටහිර ජර්මනි රජයේ ආධාරයෙන් ඉදිවූවකි)
වැඩ ඇරඹීම - 1982 නොවැම්බර් 21 දිනවිවෘත කිරීම - 1988 නොවැම්බර් 31 දිනඋල්හිටිය ජලාශය
වැඩ ඇරඹීම -විවෘත කිරීම - 1983 අප්‍රියෙල් 9 දින
රත්කිඳ ජලාශය
වැඩ ඇරඹීම -විවෘත කිරීම - 1988 අගෝස්තු 4 දින
වික්ටෝරියා ජල රැජින
වික්ටෝරියා වේල්ල කඩිනම් මහවැලි සංවර්ධන වැඩසටහන යටතේ (Accelerated Mahaweli Development Programme (AMDP)) ඉදි කරන ලදී. මෙම ව්‍යාපෘතිය වසර ගණනාවක් සැලසුම් අදියරේ තිබුණු අතර 1977 දී රටේ පැවැති ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන කඩිනම් වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කරන ලදී. හෙක්ටයාර 365,000 ක භූමි ප්‍රදේශයකට වාරි සම්පාදනය කිරීම හා මෙගාවොට් 600ක විදුලිය නිපදවීම වෙනුවෙන් මෙහි සැලසුම් නිර්මාණය කර තිබුණි.
කැනඩාවේ Huntings Technical Services ආයතනය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධනවැඩසටහනේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානයේ කණ්ඩායමක් විසින් එක්ව කරන ලද අධ්‍යයනයකින් අනතුරුව වික්ටෝරියා වේල්ල 1964 දී මුල් වරට යෝජනා විය. 1978 අගෝස්තු මස 14 වන දින හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් වික්ටෝරියා වේල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද අතර, 1980 දී එහි ප්‍රධාන ව්‍යුහයන් දි කිරීම ක්‍රියාවට නංවන ලදී. එය සම්පූර්ණයෙන් නිම කිරීම 1985 අප්‍රේල් මස 12 දින උත්සවාකාරයෙන් සනිටුහන් කෙරිණි.
වේල්ල හා උමග ඉදිකිරීම බ්‍රිතාන්‍ය බද්ධ ව්‍යාපාරයක් වූ බැල්ෆෝර් බියැටි සහ එඩ්මන්ඩ් නටාල් (Balfour Beatty & Edmond Nuttal )විසින් සිදු කරන ලද අතර, විදුලි බලාගාරය ඉදිකිරීම කොස්ටේන් සමූහය විසින් සිදුකරන ලදී. ව්‍යාපෘතියේ උපදේශක ඉංජිනේරුවන් ලෙස ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ගිබ් සහ හවුල්කරුවෝ කටයුතු කළහ. වේල්ල ඉදිකිරීම හේතුවෙන් ඇස්තමේන්තු ගත ප්‍රමාණය මෙන් සිව්ගුණයක (30,000) ජනකායක් නැවත පදිංචි කිරීමට සිදුවිය.
වේල්ල සහ විදුලි බලාගාරය-
වික්ටෝරියා වේල්ල මීටර 122ක උසින්ද, මීටර 520ක දිගකින්ද, මීටර 6ක පළලින් හා මීටර 25ක් පළල පදනමකින්ද යුක්ත වෙයි. මෙම වේල්ල මාර්ගයෙන් වික්ටෝරියා ජලාශය නිර්මාණය කරන ලද අතර එම ජලාශය වර්ග කිලෝමීටර 22.7ක මතුපිට ප්‍රදේශයක පැතිර තිබෙන අතර, ඝන මීටර 722,000,000ක ජල ධාරිතාවයකින් හා වර්ග කිලෝමීටර 1869ක ජලාධාරක ප්‍රදේශයකින් සමන්විත වේ.
වේල්ලෙන් එන වික්ටෝරියා ජලාශයේ ජලය, මීටර 5646ක දිගින් යුතු උමඟක් හරහා විදුලි බලාගාරය වෙත ගෙනයනු ලැබේ. එහි මිටර 6.2ක බැගින් විශ්කම්භය සහිත කොටු දොරවල් (penstocks) 3ක් පවතින අතර මෙම කොටු දොරවල් මීටර 190ක ශුද්ධ ජල පීඩනයක් නිර්මාණය කර ටර්බයින 3 කට (මෙගාවොට් 70ක හා කිලෝවොට් 12.5ක) ජලය නිකුත් කරනු ලැබේ. මෙම ටර්බයින වලට වාර්ෂිකව ගිගාවොට් පැය 780ක් දක්වා විදුලිය නිපදවීමේ හැකියාව පවතී.
0 Reviews